පුත්තලම් ලුණු, ගිලුණු නැව හා අපේ රට

මේ වන විට අපේ රටේ වෙළදපලේ විකිණීමට ඇති ලුණු තොග ප්‍රමාණය සීග්‍රයෙන් පහල බසිමින් ඇත. එයට හේතුව වී තිබෙන්නේ නුදුරැ අනාගතයේදී අපිට ගුණාත්මක භාවයකින් යුතු ලුණු ලබාගැනීමට හැකියාවක් නැතැයි යන සන්නිවේදනයන්ට රැවටෙන මහජනතාව තම නිවසේ හැකි පමණ ලුණු රැස් කිරීමට වෙහෙසීමයි. මේ බව පහතින් දැක්වෙන අද දින කොටස් වෙළදපල ආයතනික විචල්‍යයන් තුලින්ද පෙනුනේ රයිගම් ලුණු සමාගමේ සීග්‍ර කොටස් මිල ඉහල යාමෙනි.
අපේ රට මේ වනවිට ප්‍රධාන වශයෙන් සමාජ මාද්‍ය මගින් හසුරුවන මට්ටමකට පැමිණ ඇති බැවින් අප සැම විටම ලැබෙන තොරතුරු වල විද්‍යාත්මක භාවය හා නිරවද්‍ය භාවයට මනා අවධානයක් යොමුකළ යුතුව ඇත. මෙහිදී වගකිවයුතු මාද්‍ය හා විශේෂයෙන්ම ප්‍රාමාණික විද්වතුන්ගේ කාර්යභාරයද ඉතා වටිනා බව සිතමි. ලුණු පිලිබදව මා ප්‍රාමාණික විද්වතෙකු නොවුනද විදවතුන් විසින් සිදුකල ඒ හා සමගාමී අධ්‍යනයන්ට සැමට ඇති අවකාශය මටද ඇති බැවින් ඒ පිලිබදව සිදුකල කුඩා අධ්‍යනයක් පල කිරීමට සිතුවෙමි ලුණු අපේ රටේ විකිනීමට තත්ව සහතිකය අනිවාර්ය නොවන බවද ලුණු නිපදවීමේ කාර්ය තරමක කාලයක් (මාස කිහිපයක්) ගතවන ක්‍රියාවලියක් බවද මුලින්ම සිහි තබා ගැනීම මැනවි. සිදුවූ නාවික අනතුරින් අපේ දියබට අධිකව විවිද රසායනිකයන් එක්වූ බව මාධ්‍යන්ගෙන් දුටු අතරම ඒවා අතර ප්‍රධාන වශයෙන් සාන්ද්‍ර Nitric අම්ලය හා රුපලාවන්‍ය සම්බන්ද රසායනිකයන්ද වූ බව දුටුවෙමි. මෙහිදී මා අනිකුත් රසායනිකයන් පිලිබදව හා ඒවායේ සංගටකයන් පිලිබදව දත්ත නොදත් බැවින් ඒවායේ ජල ද්‍රාව්‍යතාවයන් පිලිබදව අදහසක් පළකිරීමටත් නොයමි. මුලිකවම සියල්ල ද්‍රාව්‍ය වූයේ යයි උපකල්පනය කරමින් ඒවා රට වට පැතිර යාම දළ වශයෙන් අධ්‍යයනය කලෙමි. ඒ සදහා පහත පළවූ විද්‍යාත්මක පර්යේෂණය ඉවහල් කරගත්තෙමි. Ref: A. de Vos, C. B. Pattiaratchi, E. M. S. Wijeratne, Surface circulation and upwelling patterns around Sri Lanka, Biogeosciences, 11, 5909–5930, 2014 (Note: Journal having a decent impact value of 3.48) චායරුපයන්ගේ දැක්වෙන අන්දමට මේ කාලය තුලදී කොලබ සිට විහිදෙන දියවැල් නිසා පුත්තලම් ප්‍රදේශයට සිදුවන බලපෑම් අවම බවක් පෙනුනි (අවධානය රුප c,d)
නමුත් මේ අනතුර අගෝස්තු මාසයේ සිදු වුනි නම් නිගමනයකට ඒමට පෙර තවත් අධ්‍යයනයන් කිරීමට සිදුවීමට ඉඩ තිබුණි. (අවධානය රූපය a)
උක්ත කරුණට නැවත අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ නැව හා සම්බන්ධ රසායනිකයන්ගේ බලපෑමක් අපේ ඉදිරි පුත්තලම් ලුණු පරිභෝජනය සඳහා නොමැති බවත් ලුණු නිපදවීමේ ක්‍රියාවලිය තරමක කාලයක් ගතවන ක්‍රියාවලියක්ද වන බැවින් අප අද පරිභෝජනය කරන්නේ පසුගිය සතියේ ගත් මුහුදු ජලයේ ලුණු නොවන බවද අප සිහියේ තබා ගැනීම වටිනා බව මා සිතමි. තවද සම්පුර්ණ රසායනික ද්‍රව්‍යනයන් එකතුවීමෙන් අප අවට ඇති අපත් ඇතුළු ජෛව ගෝලයට වූ බරපතල හානිය හදුනාගෙන එයින් විය හැකි අනාගත හානි අවම කිරීමටත් මතු එවැනි හානි වලකා ගැනීමටත් කලයුතු දේවල් සිදුකිරීම ඉතා වටිනා බව අදහස් කරමි. මෙවැනි සිද්දි වල වටිනාකම ඇත්තේ අපි හරියට කලේ කුමක්ද හා අපිට හදා ගත හැකිව තිබ්බේ කුමක්ද යන්නත් හදුනාගෙන ඒවා නිසියාකාරව කිරීම තුලින් මතු සිද්දි නැති කිරීම හා සිදුවුවහොත් හානිය අවම කිරීමේ ඉහල හැකියාවක් ලැබීමයි. ප්‍රමාණික විද්වතුන්ගෙන් සුසැදි රාජ්‍ය සේවය ඒ පිලිබදව කටයුතු කරන බව මා සිතමි. සිද්ධියේ සම්පුර්ණ රූපය දෙස බැලීමේදී පෙනීයන්නේ අප සමාජ මාද්‍ය පරිහරණයේ ඇති බැරෑරුම්කම තේරුම් ගෙන කටයුතු කිරීමේ වටිනාකමත් එය රටක දිශානතිය වෙනස් කිරීමේ ඉහළ ශක්‍යතා මට්ටමකට පැමිණ ඇති බැවින් අපේම සාවද්‍ය මාද්‍යය භාවිතාවන් දුරු කරමින් වගකිවයුතු පුරවැසියන් ලෙස හැසිරීමේ වැදගත්කමයි. එය රටේ මතු දියුණුවට හේතු වන මුලික කරුණක් ලෙසද සිතමි. ඒ හා පැනනගින එයට සමගාමී අපේම කාර්යයබාරය ගැන දළ වශයෙන් සිතුවහොත් අපි නිසා කොපමණ රසායනිකයන් අපේ ජෛව ගෝලයට එකතු වන්නේද? ඒ නිසා පුද්ගලයන් වශයෙන් අපි අපිට කල හැකි කුඩාම දෙයින් පටන් ගමු. හැකි පමණ අඩුවෙන් පොලිතින් මළු භාවිතා කරමු. කඩයට හෝ සුපිරි වෙලදසලට යනවිට ගෙදර ඇති මළු රැගෙන යමු (දිරායන හැකියාව සහිත මළු වැඩිපුර). කුඩා ආරම්භයක් විශාල අවසානයන වන සැටිද අප සියල්ලෝම දැක ඇත්තෙමු. අවසාන වශයෙන් අපේ රට තුල මනා විද්යානුකුල නිරීක්ෂණ, පරීක්ෂණ මත පදනම් වූ නිගමනයන්ට එලබිය හැකි මතු පරම්පරාවක් බිහිකිරීමත් ඒ සඳහා අපේ අද්‍යාපන ක්‍රමය යාවත්කාලින කිරීම ඉතාම වැදගත් කරුන බවත් සිතමි. දියුණුව සැම විටම ඇත්තේ එක් පරම්පරාවක කැපවීම් වලට පිටුපසින් බවත් එය පවත්වාගෙන යාම සදහා මතු පරම්පරාවන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කලයුතු බවත් අපට ඕනේ තරම් උදාහරණ තුලින් දැක ගත හැක. ප්‍රශ්නය වන්නේ ඒ කැපකිරීම් සිදුකිරීමට ඉදිරිපත් වන්නේ කුමන පරම්පරාවද යන්න පමණි.....

Comments

Popular posts from this blog

"යමන් මචන් රට", "වහපියවූ ගාමන්ට් මේ කොරෝනා කාලේ " - මා දකින බුද්ධි ගලනය හා අපේ රට

භාෂාව කන්නද? ඉංග්‍රීසි නැතුව කොහොමද දියුණු වෙන්නෙ ?