"යමන් මචන් රට", "වහපියවූ ගාමන්ට් මේ කොරෝනා කාලේ " - මා දකින බුද්ධි ගලනය හා අපේ රට

මෙය මා විසින් මෙයට වසරකට පමණ පෙර වෙන වැඩක් නොමැති (නිදහස්) අවස්ථාවක සිදුකළ කුඩා අධ්‍යනයක් වන අතර මා අදහසක් ගෙන පසෙකට කර තැබූ අධ්‍යනයන් අතරින් මා සිත් ගත් එකක්ද වන්නේය. අපේ රට අද පත්ව ඇති තත්වය පිළිබදව විද්‍යාත්මක ලිපියක් ලිවීමේ සිතක් පහල වුයේ පහත සඳහන් කාටුන් රූපය දැකීමෙන් පසුවයි...එයටම කුඩා කල සිට එකට සිටි මාගේ ගමේ, පාසලේ සහ වාසිටියේ හොඳම මිතුරන් රැසක් අද අප රට තුල නොමැති වීමට හේතුවද සබැදි නිසා එයද මාතෘකා කොට ගත්තෙමි...
පසුගිය වසරේදී කොරෝනා ඇදිරිනීති සමයේදී මෙයට අදාල දත්ත මා විසින් ලබාගත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ "THE ATLAS OF ECONOMIC COMPLEXITY" ව්‍යාපෘතිය ආශ්‍රයෙන් වන අතර මෙම ව්‍යාපෘතිය පිලිබදව මුලින්ම මා දැනුවත් කල මාගේ ඉතා සමීප ගුරු පියකු වන පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ ආචාර්ය අරුණ මානිපුරයන්ට මාගේ කෘතන්‍යතාවය පුදකරමි. ඇතැම් විට පැය ගණන් ඇදෙන විෂයානුබද්ධ (රසායනික හෝ ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවන්ට අදාළ) හෝ නොවන අපේ සාකච්චා බොහෝවිට දිවයන්නේ මෙවැනි මනෝවිකාර අදහස් ඔස්සේ බව කිවයුතුමයයි සිතමි .... කුහුල ඇත්තෝ මෙම දිගුව භාවිතා කරත්වා ....https://atlas.cid.harvard.edu/....... රටක ආර්ථික විවිධාන්ගිකරණය එරටෙහි ආර්ථික විස්තාරණය කෙරෙහිද ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැගීම කෙරෙහිද ඍජුව බලපෑම් කරන බව පිළිගත් මතයකි. එතනින් ඔබ්බට ගොස් බැලුවිට එය කොරෝනා වැනි ගෝලීය අර්බුධයක් තුලදී ඍජුවම ඍණාත්මක බලපෑම් එල්ලකරන්නේ රටේ ආර්ථික විවිධාන්ගිකරණය අඩු හා එහි සංකීර්ණත්වයද අඩු ආර්ථිකයන්ටයි. අපේ රට එයට ඉතාම හොද නිදසුනකි. පහත රූපයෙන් පෙන්වාදෙන අන්දමට අපේ රටේ ප්‍රධානම ආර්ථික උත්පාදන අංශයන් වන්නේ සංචාරක කර්මාන්තය, ඇගළුම් ආශ්‍රිත අපනයන් හා තේ මුලික වූ අනිකුත් සුළු අපනයන බෝග වගාවයි . ඔබ තව දුරටත් රට වසා තිබියදී සංචාරක කර්මාන්තයට හා කොරෝනා අස්සේම ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ මහත්ම මහත්මීන් සේවයට කැදවීම සම්බන්දයෙන් බැන වදින්නේනම් එයට හේතුව අපි එක් පවුලක් ලෙස සිතුවහොත් අපේ කුස පුරවන මාසික වැටුප අපට ලබා දෙන්නේ ඉහත රැකියාවන් තුලිනි. මෙය ප්‍රතිපත්තිවලින් එහා ගිය රටේ දිශානතිය තීන්දුකල නිදහසින් පසු ජීවත් වූ හා ජීවත්වන මාද ඇතුළු සියළු මහජනතාවන්ගේ තීරක බලයේ වැරද්දක් ලෙස දකිමි. මේ ඉගියම අපට පසක් කර දෙන්නේ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තින්ගේ සිදුවිය යුතු යාවත්කලිනවිම මිස අන් කවරක්ද? අපේ බහුතර නිෂ්පාදනයන් සදහා ඉහළ සංකීරණ අධ්‍යාපනයක් අවශ්‍ය නොවන අතර ඒ සියල්ලක්ම වෙනත් රටකින් පහසුවෙන් තරගකර තමන් සතු කර ගත හැකි වේතනය මත පදනම් වූ සරල නිෂ්පාදනයන් වන අතරම අපට අද බංග්ලාදේශය නිසා සිදු වෙමින් පවතින්නේත් එයම නොවේද ? සිතන්නට ඉතිරි කරමි....
අපට රටක් ලෙස කෙලින් සිටීමට අවැසිනම් අප ආර්ථික විවිධාන්ගිකරණය යටතේ සංකීර්ණ නිෂ්පාදනයන් දෙසට ක්‍රමයෙන් යොමු වීමත් එයට අවශ්‍ය දැනුම , කුසලතා හා ආකල්ප මත පදනම්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වහ වහා ක්‍රියාවට නැංවීමත් ඉතාම කාලෝචිත බව මාගේ අදහසයි. තව දුරටත් අදහසක් ලබා ගැනීම සදහා වියට්නාමය, ඉන්දියාව හා ජපානයේ දත්තයන් පහත ඉදිරිපත් කරමි.
බුද්ධිගලනයට හේතුව හා එය නැවැත්වීමට හෝ අඩුකිරීමට කලයුතු දෙය ඔබට පැහැදිලිවුයේයැයි මා සිතමි. (සංකීර්ණ විෂයන් පිළිබද හැදෑරු සියල්ලටම රැකියා අවස්ථා දීමට හෝ ඔවුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට තවමත් රටක් ලෙස අප සුදානම් නැත ...) මෙහිම ඇතුලත් තවත් දර්ශකයක් වන්නේ පසුගිය වසර පහළවක කාලය තුල අප රටින් එකතු වූ නව අපනයන භාණ්ඩ මොනවාද යන්න හා ඒවායින් අප ලැබූ ආදායම පිළිබද දත්තයනුයි. ඒ අනුව අප නව භාණ්ඩ දහසයක් වෙනි හොද ප්‍රමාණයක් ලෝක වෙළදපලට එක් කලත් ඒවායේ සුවිශේෂත්වය අඩු නිසා ලැබූ ආදායම අඩු අගයක් ගන්නා බව පෙනෙන්නේ අනිකුත් රටවල දත්ත හා සංසන්දනය කිරීමෙනි. පහත වගුවෙන් රටවල් කිහිපයක් හා සංසන්දනයත් රූපයන් තුලින් ඒවායේ සංකිර්ණත්වයත් විදහා දැක්වේ.
ඉහත දැක්වූ කරුණුවලට අමතරව අප රටේ පසුගිය විසිවසරක කාලය පුරා (1998 - 2018) අපනයන හා ආනයන වෙනස්වීම් පිලිබදව කෙටියෙන් අදහසක් ඉදිරිපත් කිරීම යෙහෙකියි සිතමි. 1998 අප පාසල් යන මුල් අවදියේදීත් අප උගත්තේ අපේ ප්‍රධාන අපනයන් වන්නේ තේ, පොල් හා රබර් යන්නයි (ඇත්තටම තේ හා ඇගළුම්). එදා පැවති තත්වයන්ට වැඩියෙන් එකතුවූ සංචාරක හා ප්‍රතිඅපනයන ආර්ථිකයේ වැඩිවීම නොවන්නට අදටත් අපි අත්විදින්නේ එදා වූ අපනයන ක්‍රමවේදයම නොවේද යන්න රටක පුරවැසියන් ලෙස සිතා බැලියයුතු කරුණකැයි ම සිතමි. වසරකට රසායන ඉංජිනේරුවන් සියයකට අසන්න ප්‍රමාණයක් මොරටුවෙන් හා පේරාදෙණියෙන් එක් කරන එයට අමතරව නිෂ්පාදන හා ද්‍රව්‍ය ඉන්ජිනේරුවනුත් බිහිකරන රටින් ඉල්මනයිට්, ඇපටයිට් ආදී වූ බොහෝ ඛනිජ ද්‍රව්‍යයන් අගය වැඩි කිරීමෙන් තොරව අපනයන කර අප සොච්චමක් ලබන අතරම ඒවා අපෙන් අඩුවට මිලදී ගෙන අගය එකතු කර ඉහල මිලකට අලෙවිකිරීම මෙවැනි අප සතු දැනුම හා අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට නොගෙන අපතේ හැරී අවස්ථාවකට එක් උදාහරණයක් පමණි (කෘෂි නිෂ්පාදන ඇතුළු අනෙකුත් සියලුම අගය වැඩි දියුණු කිරීම් හැකියාවනුත් බලශක්තිය සදහා ඇති උපාය මාර්ගයන්ද ඇතුළු දේ ඔබේ සිතා බැලීමට තබමි...
මෙයටම කරුණු කාරණා සම්පුර්ණවන්නට අපි 1998 සිට මේවනතෙක් භුදෙශපාලනිකත්වය හා සබැදි ආර්ථිකය කළමනාකරණය කල ආකාරයත් ඔබේ පසු කාර්යයක් ලෙස සිතා බැලීමට පහලින් දත්තයන් පමණක් ඉදිරිපත් කරමි.
අවසාන වශයෙන් මා අදහස් කරන්නේ අප සතුව ඉහත දැක්වූ ගැටළු විසදීම සදහා මනා සැලසුමක් හා එයටම සංයෝග වූ අධ්‍යාපන, වෙළද , බලශක්ති, කෘෂිකාර්මික ආදී වූ විවිධ විෂයනට අදාලව ජාතික ප්‍රතිපත්ති හැඩගැස්විය හැකිනම් රටක් ලෙස ඉදිරියට යාම අසීරු කටයුත්තක් නොවන බවත් එයට අවශ්‍ය විනය හා කැපකිරීම් අප තුලින් වඩා ගත යුතු බවත්ය. වියට්නාමය, තායිලන්තය ආදී වූ ආසියානු රටවල් අද ගමන් කරන්නෙත් සිංගප්පුරුව, දකුණු කොරියාව හා ජපානය ගමන් කලෙත් එම දිශානතියටම බව ඔබටත් ඒ ඒ රටවලට අදාල දත්ත විශ්ලේෂණය තුලින් හදුනා ගත හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. පෙරත් මා සදහන් කල පරිදි තැටිය රත්වීමට අවශ්‍ය කාලය එක් පරම්පරාවක් නොඑසේනම් වසර විස්සක් පමණි. ඉන්පසු රොටී ඇති තරම් පුච්චා ගත හැකිවනු ඇත.....

Comments

Popular posts from this blog

භාෂාව කන්නද? ඉංග්‍රීසි නැතුව කොහොමද දියුණු වෙන්නෙ ?